පිරිමි දරුවන් පියවරු වීමට නම් පිළිපැදිය යුතු කරුණු

බොහෝ දෙමාපියන් වැඩි අවධානයක්‌ යොමු කරන්නේ දියණියන් කෙරෙහිය. අනාගතයේදී මව්වරුන් වීමට සිටින අය යෑයි පවසමින් ඔවුහු පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක්‌ දක්‌වති. නමුත් දියණියකට මවක්‌ වීමට නීරෝගී තරුණයකු ද සිටිය යුතුය. එබැවින් දියණියන් ගැන පමණක්‌ නොව පිරිමි දරුවන් ගැනද විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. වර්තමානයේ විවාහක අඹු සැමියන් අතර දරුඵල නොමැතිවීමට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ සැමියා තුළින් සරුබීජ නිෂ්පාදනය නොවීමය. ඊට හේතු රැසක්‌ ඇත. ඇතැම් හේතු කුඩා කල සිට මතු වූ ඒවාය. වර්තමානයේ ගත කරන ජීවන රටාව අනුව මතු වූ හේතු බොහෝය. එබැවින් මෙවර අපි ඒ පිළිබඳව විමසා බලමු.

වෘෂණ කෝෂ තැලීම්වලට ලක්‌වීම, හදිසි අනතුරු නිසා වෘෂණ කොෂ අනතුරුවලට භාජන වීම මගින් ශුක්‍රාණු නිපදවීම අඩාළ විය හැකිය. කම්මුල්ගාය, බරවා, අණ්‌ඩකෝෂ ඉදිමුම, පැපොල, සරම්ප වැනි රෝග උත්සන්න වී වෘෂණ කෝෂ වලට බලපෑ විට ශුක්‍රාණු නිපදවීම අඩාළ විය හැකිය. එබැවින් පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂවලට බලපාන අයුරින් අනතුරක්‌ සිදුවුවහොත් හෝ රෝගාබාධයක්‌ මතුවුවහොත් ඒ පිළිබඳව අවධානය යොමුකර නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවන් යොමු කළ යුතුය.

යොවුන් වියේදී

පිරිමි දරුවකු වැඩිවියට පත්වීම හෙවත් ශුක්‍රාණු නිපදවීම ආරම්භ කර එය ශිෂ්ණය ඔස්‌සේ පිටවීම ආරම්භ වන්නේ වයස අවුරුදු 12 පමණ වියේ සිටය. දරු කළලයක්‌ සෑදීම සඳහා එක්‌ වරකදී පිටවන ශුක්‍රාණු තරලයක ශුක්‍රාණු මිලියන විස්‌සකට වැඩි ප්‍රමාණයක්‌ තිබිය යුතුය. ඉතා නිරෝගී ශුක්‍ර තරලයක ශුක්‍රාණු මිලියන හැටක්‌ පමණ තිබේ. එසේම මෙම ශුක්‍රාණු තුළ සක්‍රීය බිජ තිබිය යුතුය. එනම් යෝනි මාර්ගය වෙත පිහිනා යාහැකි ශක්‌තිමත් ශුක්‍රාණු තිබිය යුතුය. ශක්‌තිමත් ශුක්‍රාණු නිපදවා ගැනීම සඳහා නිසි පෝෂණය පමණක්‌ ප්‍රමාණවත් නැත. එදිනෙදා දින චර්යාවද බලපානු ලැබේ.

නිසි පෝෂණය

ශක්‌තිමත් ශුක්‍රාණු නිපදවීම සඳහා ගත යුතු ආහාර පාන ශීත මධුර ගුණයෙන් යුක්‌ත විය යුතුය. එනම් එළකිරි, ගිතෙල්, තිරිඟු, උඳු, කෙකටිය, නෙළුම් අල, රට ඉඳි, මුද්දරප්පලම්, තල්, පොල්, පුහුල්, උක්‌හකුරු, මී පැණි, අල, බතල, වට්‌ටක්‌කා, බෝංචි, සව්, බාර්ලි, මුං ඇට ආදී ආහාර වර්ගත්, වැල්පෙනෙල, ඉරමුසු, ගොටුකොළ වැනි ඖෂධීය පානවර්ගත් නිතර ගැනීම සුදුසුය.


දින චර්යාව

නිතරම සැහැල්ලු ඇඳුම් ඇඳිය යුතුය. වෘෂණ කෝෂ තදවන අයුරින් තද යට ඇඳුම් ඇඳීම සුදුසු නැත. ක්‍ෂණික ආහාර වර්ග, නිතර කෝපි පානය, මත්පැන් ගැනීම, දුම් පානය, මානසික පීඩනය, ඝන අව්වේ වැඩි කාලයක්‌ සිටීම, වැඩිකාලයක්‌ සිටගෙන සිටීම, අධික උෂ්ණත්වය සහිත පරිසරයක කටයුතු කිරීම, රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කටයුතුවල නිතර කටයුතු කිරීම, ආනාරක්‍ෂිත අයුරින් බර එසවීම, පරිගණක ආශ්‍රිතව නිතර කටයුතු කිරීම නිසා සරු ශුක්‍රාණු නිපදවීමට බාධා මතුවේ.  එසේම දිනපතා ආහාරයට සෝයා සහිත ආහාර, අලු කෙසෙල් ආදිය යොදා ගැනීමද නුසුදුසුය.

 

ශුක්‍රාණුවක සක්‍රිය භාවය

වෘෂණ කොෂයෙන් පිටවූ ශුක්‍රාණුවක්‌ ශිෂ්ණය ඔස්‌සේ බාහිර පරිසරයට පැමිණි පසු පැය 48 ක්‌ පමණ සක්‍රිය තත්ත්වයේ පවතී. වරක්‌ ශුක්‍රාණු පිටවූ පසු නැවත වරක්‌ සරු ශුක්‍රාණු පිටවීමට පැය 48 ක්‌ පමණ ගතවේ. එබැවින් දරුඵල අපේක්‍ෂාවෙන් එක්‌වන අඹු සැමියන් වරක්‌ එක්‌වූ පසු නැවත පැය 48 කට වරක්‌ හෙවත් දවසක්‌ හැර දවසක්‌ එක්‌වීම සුදුසුය.

වර්තමානයේ බොහෝ තරුණයන් තුළ පවතින දුර්මතයත් වනුයේ ශිෂ්ණයේ ප්‍රමාණය පිළිබඳවය. සාමාන්‍යයෙන් නීරෝගී තරුණයකුගේ ශිෂ්ණය ප්‍රමාණවත් වූ විට අඟල් හතරක්‌ පමණවේ. කාන්තාවකගේ යෝනි මාර්ගය වෙත ශුක්‍රාණු තැන්පත්වීමට එම ප්‍රමාණය ප්‍රමාණවත්ය. එබැවින් අනවශ්‍ය බිය ඇතිකරගෙන දුර්මත ඔස්‌සේ කටයුතු කිරීමෙන් සිදුවන්නේ දැඩි මානසික පීඩනයට ලක්‌ව ලිංගික දුබලතාවට පත්වීමයි.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන – කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – දිවයින පුවත් පත ඇසුරිණි

Check Also

දරුපල නැති අම්මලාට ලබන්න

දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක් විවාහක යුවළකගේ එකම ප්‍රාර්ථනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Watch Dragon ball super